Style Switcher

Choose Colour style

For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
දුරු කළොත් ග‍්‍රහ අපල උදාවෙනවාද සුබ ඵල

දුරු කළොත් ග‍්‍රහ අපල උදාවෙනවාද සුබ ඵල

ජීවිතේ නොයෙකුත් කරදර බාධක මඟහැරගෙන සුබ ඵල උදාකරගන්න උත්සාහ කරන මිනිස්සු ඉන්නේ ලංකාව, ඉන්දියාව වගේ පෙරදිග රටවල විතරක් නෙවෙයි. මම මේ ලිපිය ලියන්නෙ ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නගරයේ ඉඳල.ඉතිං පන්සල්, පල්ලි, කෝවිල්වල තත්ත්වය නම් ලංකාවටත් වඩා උසස් මට්ටමක තියන බව පේනවා. වෙනස තියෙන්නෙ ආමිස පූජාවලට වඩා ප‍්‍රතිපත්ති වලට, හරයට, ගරු කරන පිරිස වැඩියි. උගත්, ධනවත් සාර්ථක මිනිස්සු ආගම දහම අතෑරල නෑ. කතරගම දේවාලෙන් පූජාවක් දකින්න ලැබුණා. එච්චර ලස්සන අලංකාර පූජාවක් මම නම් ලංකාවේදී දැකලා නෑ.
ලෝකේ කොහේ වුණත් අදෘශ්‍යමාන බලවේගයක් මගින් ජීවිතයට කරන බලපෑම ගැන විශ්වාස කරනවා. බුදුහාමුදුරුවෝ නම් මේ බලපෑම හඳුන්වා දුන්නෙ කර්මය කියල. කර්ම බලය නිසා සත්වයා ඉහළ පහළ තත්ත්වයන් කරා ගෙනියනව. ධනවත් වෙන්න, නිරෝගී වෙන්න, ජනපි‍්‍රය වෙන්න, ලස්සන රූපයක් ලබන්න කර්මය බලපානවා. පෙර කරන ලද පින් පව් නිසා විවිධ ප‍්‍රතිඵල ලැබෙන එක තමයි කර්ම නියාමය.
කර්ම නිසා ලැබෙන සුබ නැත්නම් අසුබ විපාක ගැන දැනගන්න තියන ලෞකික විද්‍යාව තමා ජ්‍යොතිර් විද්‍යාව. ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා ග‍්‍රහ අපල කියන්නෙ කර්ම විපාකවලට බව. සුබ ඵල කියන්නෙත් කර්ම විපාකවලට. අපි ජන්ම පත‍්‍රයක් පරීක්‍ෂා කරල අපල තියනවද කියල බලනව කියන්නෙ අකුශලකර්ම විපාක එනවද කියල බලන එකටයි. එතකොට ඒ අකුශල කර්ම විපාක මඟහරවා ගන්න අවශ්‍ය ශාන්තිකර්ම වගේ දේවල් කරන්න පුළුවනි.
අපි හිතමු, යම් කෙනෙකුට සෙනසුරු අපලයක් තියනව කියල. ඉතිං සෙනසුරු අපලෙ නිසා කරන කියන කටයුතු ප‍්‍රමාද වීම, ධනහානි ඇතිවීම, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම, ශරීර සෞඛ්‍යය පිරිහීම, මානසික ගැටලූ, වගේ අපල ඇතිවෙන්න ඉඩ තියන බව ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. ඒ වගේම මේ අපල දුරු කර ගන්න අනුගමනය කළ යුතු ශාන්තිකර්මත් සඳහන් වෙනවා.
සෙනසුරු අපලයට හේතුව තමා පෙර කරන ලද විශේෂ කර්මයන්. දුගී මගී යාචක සේවක වැනි අයටත් තමන්ගේම සේවකයන්ටත් කළ යුතු යුතුකම් පැහැර හැරීම, සේවක වැටුප් නොදීම, අනවින කොඩවින කිරීම වැනි කර්මවල විපාක තමා සෙනසුරු අපලය කියන්නේ.
එතකොට මේ අපලය දුරුකරන්න කර්මවලට ප‍්‍රතිකර්ම නැත්නම් ශාන්තිකර්ම කරනවා. අපල කරන ග‍්‍රහයාට අයිති සුදුසු යන්ත‍්‍රයක් පැළඳීම, මැණික් පැළඳීම, සෙත්කවි කියවීම, දෙවියන්ට බාර වීම, යාචක දානය දීම, කපුටු දානය දීම, බෝධි පූජා තබා සෙත්පතා ගැනීම මෙකල කරන ශාන්තිකර්ම අතර ජනපි‍්‍රය ශාන්තිකර්ම බව පේනවා.
රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක‍්‍ර, ශනි, රාහු, කේතු යන නව ග‍්‍රහයන්ගෙන්ම එන අපලවලට මෙවැනි ශාන්තිකර්ම කරන හැටි ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. ග‍්‍රහයන්ට හිමි දින, වර්ණ, අංක, හෝරා ආදිය භාවිත කරමින් තමයි පූජා ආදිය තියන්නේ. මේ ශාන්තිකර්මවලින් අදාළ ග‍්‍රහ අපලය සමනය වෙනවා. වැස්ස නවත්තන්න බැරි වුණත් කුඩයක් අරගෙන යන්න පුළුවන්. ඒ වගේ තමයි මේ ශාන්තිකර්ම වලින් කෙරෙන්නේ. අපලය සමනය වෙනවා.
තමන්ගේ ජන්ම පත‍්‍රය උගත් ජ්‍යොතිශාස්ත‍්‍රඥයකුට ඉදිරිපත් කර පරීක්‍ෂා කරවා ගැනීමෙන් උදාවිය හැකි ග‍්‍රහ අපල හඳුනා ගැනීමටත් කළ යුතු ශාන්තිකර්ම කරවා ගැනීමටත් අවස්ථාව උදාවෙනවා. ජ්‍යොතිෂයේ විශේෂ ප‍්‍රයෝජනයක් වන්නේ මේ විදිහට අනාගතයේ සිදුවිය හැකි විපත් අවම කරගෙන ඒවායින් බේරීමට හැකි වීමයි. සිදුවෙන්න තිබුණු විශාල කරදරයක් මඟහැරිල ගියා කියලා. එතකොට දැං සුබ ඵල, ජයග‍්‍රහණ, ශරීර සෞඛ්‍යය, ධනය, ජනපි‍්‍රය බව ලැබෙනවද? එහෙම වෙන්න හේතුවක් නෑ.
 graha2රෝහලට අරං ගිහිං නතර කරන රෝගියෙකුට හරියට ප‍්‍රතිකාර ලැබුණොත් සනීප වෙනව. මුලින් තිබුණු දුර්වලතා නැතිවෙලා නිරෝගී වෙනවා. මුලින් තිබුණු ශරීර ශක්තියත් ලබා ගන්න පුළුවන් වෙයි. මානසික සහනය විවේකයත් ලැබෙයි. ඒ විදියට සුවපත් වෙලා ගෙදර ආවිට ඒ පුද්ගලයට එදා ඉඳලා ඔය කියපු ධනය, විභාග සමර්ථ වීම, සතුට වගේ දේවල් ලැබෙනවද? නිකම්ම ලැබෙනවද? අසනීපය සුවවීම එකක්. ජීවිතය දියුණුවීම වෙනත් එකක්. දියුණුවට අදාළ දේවල් කළොත් විතරයි දියුණුව ලැබෙන්නේ.
ග‍්‍රහ අපල දුරු කරනවා කියන්නේ ඉඩමක් ශුද්ධ කරනවා වගේ දෙයක්. ඉඩමක් ශුද්ධ කරල වල්පැළ ගලවල පස් බුරුල් කළාට වටිනා ගහක් ඉබේම ගැලවෙන්නෙ නෑ. පැළ කරන්න ඕන කරන පැල හිටවල වතුර, පෝර දාල ආරක්‍ෂා කළොත් විතරයි ඒ පැළ ගස් බවට පත්වෙලා අස්වැන්නක් ලැබෙන්නේ.
අපල දුරුවෙලා සුබ ඵල ලැබෙන්නෙත් එහෙමයි. අපල දුරු කරල සුබ පල ලබන්න නම් ඒ සුබ පලවලට අදාළ බීජ පැළ කරන්න ඕනෑ. හැබැයි ඒ පැළ හදන්නෙ, රෝපණය වෙන්නෙ, බිම පසේ නෙවෙයි. අපේම හිත්වලයි අපලයක් තියෙන්නෙත් සිත් වලින් ඇතිවෙන දෙයක්. සපල නැත්නම් සුබ ඵල කියන්නෙත් හිතට දැනෙන දෙයක්. මේ නිසා අපල දුරු කරල පිරිසිදු කර ගත්තු චිත්ත සන්තානය කියන පාත්තිවල වටින බීජ පැළ කරන්න ඕනෑ. මම කියන්නෙ ඒවට බලාපොරොත්තුවේ බීජ කියල. අපේක්‍ෂා, බලාපොරොත්තු, ප‍්‍රාර්ථනා, බීජ වපුරන්න ඕනෑ.
එතකොට ඒකායන බලාපොරොත්තුවත්, අරමුණත් අපේක්‍ෂාවත් නැති කෙනෙකුට අපල දුරු වුණා කියල සාර්ථක වෙන්න දෙයක් නෑ. යන්තරයකුත් බෙල්ලෙ එල්ලගෙන ඔහේ ඉඳී. ඉබේම ලොතරැයියක් ඇදිල හරියනකල් බලා ඉඳල නම් බෑ. ජීවිතයට අරමුණක් අපේක්‍ෂාවක් තිබීම අත්‍යවශ්‍යයි. අරමුණක් නැති තැනැත්තා හරියට මාළු ටැංකියක ඉන්න මාළුවෙක් වගෙයි. ටැංකියෙ ඉන්න මාළුවන් රවුමක් ගිහිං ආයෙමත් හිටපු තැනටම එනවා. ඉදිරියට යෑමක් නෑ.
‘‘අරමුණු.. කියන්නෙ හුදෙක් ‘‘ප‍්‍රාර්ථනා.. නෙවෙයි. අරමුණ සමග අධිෂ්ඨානයත් බැඳිල තියනව. මම මේ වැඬේ කරගන්නවාමයි කියන අධිෂ්ඨානය සහිත අරමුණ ශක්තිමත් බලයක් ගොඩනඟනවා.
ඒ වගේම අරමුණු රාශියක් නැත්නම් කිහිපයක් තිබීමත් හානිකරයි. සමහර විට එයින් එකක්වත් හරි නොයන්න ඉඩ තියනවා. පෙම් සබඳතා කිහිපයක් පවත්වනවා වගෙයි. එහෙම අයත් හරිහැටි විවාහයක් නැතිව අතරමං වුණු අවස්ථා දකින්න ලැබෙනවා.
අපි ඉහත කී අරමුණ කියන බීජය චිත්ත සන්තානය නමැති පාත්තියේ පැළ කරන්න ඕන බව. ඒ කියන්නෙ හිතේ ඉතිං පාත්තියෙ හොඳට පස් බුරුල්වෙලා වල් පැළ ඉවත් වෙලා ගල් කැට ඉවත් කරල ලස්සනට තියනව නම් තමා අපි පැළ කරන බීජය පැළවෙන්නෙ. චිත්ත සන්තානයත් ඒ වගේමයි.
එකඟ කරගත නොහැකි විසිර යන සුළු චිත්ත ඒකාග‍්‍රතාව නැති, චංචල, දුබල සිතකට ඇතුළු කරන අරමුණ සාර්ථක කර ගන්න බාධා වැඩියි. අනවශ්‍ය සිතිවිලි වගේම එකක් පරයා ගලා එන තව තව සිතිවිලි නිසා කිසිම දෙයක් කර ගන්න හිත යොමුකර ගන්න බෑ. විභාගයක් සමත් වෙන්න පාඩම් කළත් හිතේ රැඳෙන්නෙ නෑ. මේ නිසා පළමුව හිත සන්සුන් කර ගැනීම අත්‍යවශ්‍යයි.
පසුගිය සතියේ ලිපියෙන් අපි සාකච්ඡුා කරගත්තා සුපිරි බලයක් ලැබෙන භාවනාව ගැන. ඉතිං කෙටි භාවනාවක් මගින් හිත සංසුන් කර ගන්න ඕනෑ. බුදුගුණ භාවනාවක් මෛති‍්‍ර භාවනාව ආනාපාන සතිය වැනි භාවනාවන් දවසකට විනාඩි 20 ක් වත් කරන්න ඕනෑ. ඒක පුරුද්දක් වීමයි හොඳ.
අද ඔබට කියන්නේ ඔබේ ඒකායන අරමුණ සාර්ථක කරගන්න උපකාර වෙන තවත් විශේෂ බලයක් ගැනයි, ඒ තමා චිත්ත රූප මවා ගැනීම. භාවනාවකින් සංසුන් කරගත් හිතකට චිත්ත රූප මවා ගැනීම මගින් විශාල බලයක් ගොඩනඟා ගන්න හැකියාව ලැබෙනවා.
දැන් මේ ලිපිය කියවීම මඳකට නවතා කොළයක් සහ පෑනක් අතට ගන්න. ඉන් පසුව ඔබේ ජීවිතය පුරාවට ලැබුණු විශේෂ ජයග‍්‍රහණ සතුටුදායක ජය ලැබීම්, සමර්ථවීම් ගැන ලියන්න කිහිපයක්ම දහයක් විතර ලියන්න. ඒවා අනෙක් අයත් එක්ක සසඳනකොට පුංචි වෙන්නත්, ලොකු වෙන්නත් පුළුවන්. එහෙම සසඳන්න යන්න එපා. ඔබේ ජයග‍්‍රහණ ඔබට ලොකුයි. ඒව ලියන්න.
ඊට පස්සෙ බලන්න ඒව ඔබට උරුම වුණේ නිකම්ම හදිසියෙ නොවන බව. ඔබ ඒව ගැන බලාපොරොත්තු වෙන්න ඇති. හිතන්න ඇති. සමහර දේවල් අනුන්ගෙන් ඉල්ලන්නත් ඇති. හීන මවන්න ඇති. ඒව තමා සාර්ථකවෙලා තියෙන්නෙ.
උදාහරණයක් හැටියට රැකියාවක් නැතිව හිටපු කාලෙ රැකියාව ගැන රැකියාවෙන් ලැබෙන වැටුපෙන් කරන දේ තත්ත්වය ගෞරවය, සමාජ පිළිගැනීම වගේ දේවල් හිතන්න ඇති රැකියාව ලැබුණට පස්සෙ උරුමවෙලා තියෙන්නෙ ඒවට තමා. සරසවියට ගිය ශිෂ්‍යයෙක් නැත්නම් ශිෂ්‍යාවක් තමන්ගෙ උසස් පෙළ විභාගෙ ලියන කාලෙම තමා හිතන්නෙ විභාගෙ සමර්ථ වෙලා සරසවියට යන හැටි. උපාධි ලබන හැටි.
මේ තමා චිත්ත රූප මැවීම කියන්නෙ. අනාගතේ තමන්ට උරුම කර ගත යුතු දේ අරමුණු කරගෙන හිතේ මවා ගැනීම. අරමුණ පැහැදිලි නැත්නම් චිත්ත රූප මවන්න බෑ. විභාගෙ පාස් වුණත් එකයි. පේල් වුණත් එකයි කියල දුර්වල අරමුණක් ඇති ශිෂ්‍යයකුට ඒ හීන දකින්න බෑ.
මේ නිසා ඔබට අවශ්‍ය කුමක්ද යන්න පැහැදිලිව හඳුනා ගන්න. කිහිප දෙයක් එකවර කරන්න යන්න එපා. හාවුන් දෙදෙනකු පසුපස හඹා යන්නා එකෙකු වත් අල්ලා නොගනී කියල කොන්ෆියුසියස් කියන දාර්ශනිකය කියල තියනව. කිහිපයක් කරන්නා කිසිවක් හරි හැටි නොකරයි කියන්නෙත් ඒකයි. ඉතිං අපි කතා කළේ අපල දුරු වුණාට නිකම්ම සාර්ථක බව ළඟා වෙන්නෙ නෑ. කියන කාරණාවයි. සාර්ථක වෙන්න නම් අරමුණු තිබීම අවශ්‍යයි. අරමුණක සීමාවක් නෑ. නුපුළුවන්කම මෝඩයන්ගේ සහ කම්මැලියන්ගේ ශබ්ද කෝෂවල පමණක් හමුවන වචනයක් කියල කතාවක් තියනව.
මේ වගේ ඒකාන්ත අරමුණකින් උත්සාහ වන්තව කටයුතු කරන කෙනෙකුට පරණ අකුසල කර්ම හා බැඳී එන ග‍්‍රහ අපල නිසා තරමක බාධා ආවත්, අපල දුරු කළ ගමන් නැවත ගමන ආරම්භ කළ හැකියි.
අරමුණු නැති, අධිෂ්ඨාන නැති ‘‘ඉපදුනාට මේ ලොව වැනෙනවා විනා.. වගේ ඉන්න අය දුර්වල ගස් වගේ. හරියට කෙසෙල් ගස් වගේ. පුංචි හුළඟකටත් කඩාවැටෙනව. ඒ වගේ අය ග‍්‍රහ අපලයකදී බිමටම වැටෙන බව පැහැදිලියි. ඒ වුණත් ඒකාන්ත අරමුණු අධිෂ්ඨාන කියන ශක්තිමත් මනසක් ඇති අය ඉන්ද්‍රඛීලයක් වගේ හොල්ලන්න බෑ. හුළඟට පෙරළන්න බැරි මහ ගහක් වගේ ශක්තිමත් වෙනවා.
ඉතිං මතක තියාගන්න අපල ගැන හොයල බලල ග‍්‍රහ ශාන්තිකර්ම කරගත් පමණින් සාර්ථකත්වය අහසින් කඩාවැටෙන්නේ නෑ. මනස ශක්තිමත් කරන සරල භාවනාවක දිනපතා යෙදෙන්න. ඊළඟට අරමුණ පැහැදිලිව ලියාගන්න. ඉන්පසුව ඒ ගැන චිත්ත රූප මවන්න. මවන සිහින සැබෑ වන දිනය වැඩි ඈතක නොවේ. ඔබට ජය
leave your comment

Your email address will not be published. Required fields are marked *